Showing posts with label memories. Show all posts
Showing posts with label memories. Show all posts

Sunday, January 2, 2011

නෑ කතා

අපි හැමෝටම විවිධාකාරයේ නෑයෝ ඉන්නවනේ , හොඳ නෑයෝ එපා වෙන නෑයෝ, දුප්පත් නෑයෝ, පොහොසත් නෑයෝ, දුර නෑයෝ, ළඟ නෑයෝ, කුහක නෑයෝ, හිතවත් නෑයෝ මේ විදිහට විවධ ආකාරයට වර්ග කරන්න පුළුවන්. අද යාලුවෙක් එක්ක චැට් කරන ගමන් නෑයෝ ගැන කතා උනා ඒ නිසයි  මේ පොස්ට් එක දාන්න හිතුනේ.


මගේ මේ යාලුවට දවසක් හදිසියේම නෑයෙක් ස්තුති කරාලු, ස්තුති කිරීමට හේතුව තමයි මේ යාළුවා නිසා ඒ නෑයට  ග්‍රීන් කාඩ් එකක් ඇදිම  . ඉතින්  මේ කතාව  මොකක්ද කියල  තේරුම් ගන්න බැරිව විස්තර  අහන කොටලු තේරුනේ මොකක්ද වෙලා තියෙන්නේ කියල. මගේ මේ යාළුවා බ්ලොග් ලියන කෙනෙක් ඉතින්  මේ බ්ලොග් එකේ ඇඩ් එහෙමත් තියනව.  මේ නැයා    මේ බ්ලොග් එක නිතර බලනවාලු. දවසක් එයා  ඒ බ්ලොග් එකේ තියන ඇඩ් එකක් ක්ලික් කරලා එයාට  ග්‍රීන් කාඩ් එකක් ඇදීලලු , ඉතින්  ඒ නෑය හිතල තියෙන්නේ මේ යාළුවා නිසා තමයි  ඒක හම්බ උනේ කියල.(යාළුවා දාපු එකක් තමයි කියල හිතල) එහෙම හිතලයි මෙයා යාලුවට ස්තුති කරලා තියෙන්නේ. ( මට නම් ටිකක් හිත ගන්න බෑ ග්‍රීන් කාඩ් එකක් කොහොමද ඇඩ් එකකින් ඇදුනේ කියල මන් දන්න තරමින් ඒකට ඔෆිෂල් වෙබ් එකක් තියනවා ). ඉතින්  මෙහෙම හොඳ දෙයක් වුන  එක නම් හොඳයි,  එත් මේ ඇඩ්, බ්ලොග් අයිති කෙනා දාන ඒවා නෙමෙයි නේ සමහර වෙලාවට ඔය නිළියන්ගේ එක එක ජාතයේ පින්තුර තියනවා කියලත් සමහර ඇඩ් වල යනවා . ඉතින්  ඒවගේ  එකක් එහෙම අර නෑය ( හරි ,මේ ඇඩ්   බ්ලොග් එක අයිති එක්කෙනා දාන දෙයක් නෙමේ කියල දන්නේ නැති කෙනෙක් හරි) ක්ලික් කරා නම් ඒකත් ඉතින්  බ්ලොග් එක අයිති  කෙනාගේ වැඩක් කියල තමයි හිතන්නේ.


මේ කතාව ලියන කොට මට මම සහ මගේ නෑයෙක් ගේ කතාවකුත් මතක් උනා. හැබැයි කලින් කියපු  කතාවට වඩා වෙනස් සිද්ධියක් මේක. මට දවසක් දුර පළාතකට ජොබ් එකක් හම්බ උනා. මම මේ පළාතට මිට කලින් ගිහිල්ලත් නෑ . ගෙදර ඉඳල කෝච්චියේ ගියොත් පැය 6 ක් විතර යනවා යන්නත්. දැන් මට බෝඩිමක් හොයා ගන්න ඕන. සාමාන්යෙන් මගේ ජොබ් සම්භන්ධ වැඩ මම  තනියම කරගන්නේ, ගෙදරට කරදර කරන්නේ නෑ . ඉතින් මේ බෝඩිම හොයාගන්න වැඩෙත් මම යාලුවෙක් හරහා කරා. මගේ යාලුවෙකුට  ( අඳුනන ගොඩක් හිතවත් අයිය කෙනෙකුට ) කිව්වා මට *** පළාතේ  අලුත් ජොබ් එකක් හම්බ උනා එහෙන්  ටික දවසකට හරි බෝඩිමක් හොයල දෙන්න පුළුවන් ද කියල. ඊට  පස්සේ මෙයාගේ යාලුවෙකුගේ ත් යාලුවෙක් ගේ ගෙදර නවතින්න පුළුවන් කියල කිව්වා. මගේ මේ යාළුවා හොඳ විශ්වාසවන්ත කෙනෙක් නිසා එය හොයලදෙන්නේ ගැණු ළමයෙකුට නවතින්න පුළුවන් විදිහේ තැනක් කියලත් මට විස්වාසයි. ඉතින් මගේ යාළුවාට එයා ගේ යාළුවව හොඳටම විශ්වාස යි , ඒ යාලුවට එයාගේ යාලුවවත්  හොඳටම  විශ්වාසයි. ඔහොම තම ඔය බෝඩිම හොයා ගත්තේ. ඒ බෝඩිමේ ඒ දවස් වල හිටියේ ආන්ට්යි අන්කලුයි පුතයි ( යාළුවගේ යාළුවගේ යාළුවා ) විතරයි . එතින් ඊට පස්සේ මම තනියම *** කෝච්චියේ නැගල ගියා ඒ පළාතට. මම ගියාම  අර ගෙදර මල්ලි  ( තුන් වැනි යාළුවා)ස්ටේෂන් එකේ මන් එනකන් හිටිය . මිට කලින් දැකලත් නෑ එත් අපි දෙන්න ඒ වෙලාවේ අඳුනගෙන දැන් ඒ අලුත් බෝඩිමට ගියා. ඉතින්  මේ තැන හොයා ගත්තේ  කාලිකව හින්ද මට මතක විදිහට සති 2 ක් විතර එහෙ හිටිය. ඒ ගෙදර හැමෝම හොඳින් මාව බල ගත්ත හරිම හොඳ මිනිස්සු. මගෙන් සල්ලි වත් ගත්තේ නෑ.   කෑම හදන්න ගියාම මම කන්න කැමති විදිහ අහනවා .. මල්ලි ඇන්ටිට කියන මිරිස්  අඩුවෙන් දාන්න අක්ක සැරට කනවද දන්නෙත් නෑ .. මට අලුත් ඔෆිස් එකට යන්න පුරුදු නැති නිසා මාව ඔෆිස් එකට ගිහින් දානවා ..ඔයවගේ හරිම සැලකිලි. ඉතින් ඒ ගොල්ලෝ කැමැත්තෙන් හිටිය මන් එහෙ දිගටම ඉන්නවනම්  . ඔහොම ඉන්න  දවසක අපේ නෑ කෙනෙකුත් ඒ පළාතට  එනවා කියල ආරංචි උනා  . ඒ පළාත එයාලගේ ගම. මේ නෑය අපේ ලොකු නැන්ද ගේ දුව බැඳලා ඉන්න අයිය. ඉතින්  මේ ගොල්ලන්ගේ පවුලම එදා කෝච්චියේ එන නිසා මටත් කිව්වා එහෙ ස්ටේෂන් එකට එන්න කියල. ඊට පස්සේ මම නැවතිලා හිටපු ගෙදර කට්ටියත් එක්ක මගේ නෑයෝ ටික හම්බවෙන්න ස්ටේෂන් එකට ගියා. එහෙදි මගේ නැයෝයි  අර ගෙදර කට්ටියයි අඳුන ගත්ත. පස්සේ මන් අලුත් බෝඩිමක් එහෙම හොයාගෙන ඒ ගෙද්‍රරින් සමු ගත්ත. ඔහොම ඉන්න දවසක අර නෑය (අයිය) අපේ තාත්තිට කියල තිබ්බ අර ගෙදර කට්ටියගේ නෑයෝ හරියට දොස් කියල තිබ්බ තනියම ඒ පළාතට ගිහින් අඳුනන්නේ වත් නැතිව ගෙදරක නැවතුන එකට කියල .. හරි ගැණු ළමයෙක් ඔය වගේ වැඩක් කරනවද .. මේ වගේ කතා ඒ නෑය කියල තිබ්බ ඉතින් මට ඔය කතාව ඇහුවම හොඳටම තරහ ගිය. මට හිතුනේ මෙහෙම ..ඒ ගොල්ලන්ට මට බෝඩිමක් හොයල දෙන්න කිව්වා වෙලාවේ ( එදා ස්ටේෂන් එකේදී හමු වුන වෙලාවේ ) ඒක කරලා දෙන්න බැරි උනා ඒ ගොල්ලන්ගේ ගම වෙලත්. එත් මන් තනියම එහෙ ගිය එකෙයි ඒ ගෙදර නැවතුන එකෙයි වැරදි විතරක් අපේ තාත්තිට  ගිහින් කියල...  .  ඔය හිතපු දේ නෑයෝ වෙන අක්ක කෙනෙකුට මන් කිව්වා ඒක අර අයියට  ( කලින් කියපු  නෑය ට  ) ආරංචි වෙලා දැන් මගෙත් එක්ක කතා කරන්නේ නෑ ඊට පස්සේ. මාත් ඉතින්  එයාට වැඩිය කැමති නැති නිසා එකත් හොඳයි කියල හිතා ගත්ත. 

Wednesday, December 1, 2010

ලෙඩේ..

මේ කතාවත් ඉස්කෝලේ පුංචි දවස්වල වුන පුංචි සිද්ධියක්. දවසක් අපේ පන්තියේ ටීචර් කිව්වා අපිට මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමාට ලියුමක් ලියන්න කියල . ලියුම ලියන්න කිව්වේ අපේ පළාතේ බෝවෙන රෝගයක් ගැන දැනුම් දීමට. ඉතින් ලියුම් ලියන විදිහක් තියනවනේ... , යවන ලිපිනය ලියල , දිනේ එහෙම දාල මාත් ලියුම පටන්ගත්ත . දැන් අනිත් ළමයිනුත් ලියුම ලියනවා. ඊට පස්සේ මහා ජන සෞඛ්‍ය පරීක්ෂක තුමාගේ ලිපිනයත් ලිව්වා. ලියුමට මාතෘකවකුත් දැම්ම " අප ප්‍රදේශයේ පැතිර යන බෝවෙන රෝගය සම්බන්ධවයි කියල. දැන් පටන් ගැන්ම හරියටම හරි. ඊට පස්සේ ටිකක් වෙලා කල්පනා කරා මොකක්ද ලියුමට දාන ලෙඩේ කියල. ඉතින් ලියන එකේ අනිත් ළමයින්ට වැඩිය හොඳට ලියුම ලියන්නත් ඕනනේ. වෙලාවට මට අලුතෙන්ම අහන්න ලැබුණු ලෙඩක් මතක් උන. මාත් ඉතින් බැලුවේ අලුත් දෙයක් ලියන්න; අනිත් ළමයින්ට වඩා වෙනස් දෙයක් නම් ඉතින් මාර හොඳි නේ. මට හොඳටම සතුටුයි ලෙඩේ නම ගැනත්. නමේ ටිකක් modern ගතියකුත් තිබුන නිසා. ඊට පස්සේ මම ලියුම ලියල ඉවර කරා. මට මාර සතුටුයි අනිත් අයට කලින් වඩා හොඳ එකක් ලියන්න පුළුවන් උනානේ. ඊට පස්සේ ටීචර් ලඟට ගියා පොත පෙන්නන්න. ටීචර් ලියුම කියවගෙන ගියා. ලියුමේ තිබුන "අප ප්‍රදේශයේ ඒඩ්ස් රෝගය භයානක ලෙස පැතිර යන නිසා ඒ පිලිබඳව දැනුම් දී ම සඳහා මේ ලිපිය ලියමි ... " කියල. අපේ ටීචර් ඒක කියවල අර දාල තිබ්බ ලෙඩේ නම වෙනුවට " කබල් " ලෙඩක නමක් දාල ලියුම වෙනස් කළා. ඉතින් ඒ වැඩේට මගේ හිතට එච්චර හරි නෑ . අර තරම් කල්පනා කරලා ලියපු ලියුමනේ.

Friday, November 26, 2010

පළපුරුද්ද…

මේ දවස් වල ඉස්කෝලේ විභාගේ. ඉතින්  මට ත් දවස් දෙකක්ම විභාග ශාලාවේ වැඩ කරන්න සිද්ධ උනා. පොඩ්ඩ එහා මෙහා වුන ගමන් ළමයි කොපි කරනවා. අතරින් ලමයි දෙන්නෙක් වැඩිපුරම කතා කරනවා මට පෙනුනා. බැරිම තැන මන් දෙන්නගේ ලඟට ගිහින් දෙන්නගෙ  ඔලුවට හිමින් ගැහුවා " මොකද කතා කරන්නේ" කියල අහන ගමන්.  


මට මගේ  ඉස්කෝලේ යන කාලේ මතක් උනා. මම ඉස්කෝල  දෙකකට ගිහින් තියනවා. එකක් ගෙවල් වලට කිට්ටු ග්‍රාමීය ඉස්කෝලයක්. අනික නගරයේ ජනප්‍රි ඉස්කෝලයක්.  ගමේ ඉස්කෝලෙට යද්දී වුන සිද්ධියක් මට මතක් වෙනවා. ඒකත් විභාගේ දවස් වල කතාවක්.

මට සමාන්‍යයෙන් එතරම් හොඳට ලියන්න බැහැ. ( එහෙම තමයි මම මන් ගැන හිතාගෙන ඉන්නේ ). පොඩි  කාලේ රචනාවක් ලියාගෙන යන්න ඕන උනාම තාත්තට කියනවා. තාත්ත වාක්‍යයෙන් වාක්‍ය කියවනවා. මම ඒක ලියනවා. ඔහොම තමයි  මන් රචනා ලිව්වේ. හරිම කම්මැලියි ලියන්න. කැම්පස්  එකේදිත් දෙන assignment එහෙම ලේසියෙන් කරන්නේ නෑ.

මම ඒකාලේ  පහේ පන්තියේ හරි හයේ පන්තියේ හරි හිටියේ. මන් ළඟ තිබුන 'සතර' පොතක තිබුණු රචනා වගයක් , එක එක මාතෘකා යටතේ ලියවුන ඒවා . පොතේ කෑලි තමා තිබුනේ, රචනා ටික වෙනම. එදා විභාගේ දවසක්. අපි විභාගෙට යනකොට file එකකුත් ගෙනියනවා. එදා තිබුනේ සිංහල. ඉතින් සිංහල විෂයට රචනාවක් අනිවාර්යයෙන්ම තියනවනේ. මම කොහොම හරි මගේ file ඒක ඇතුලට ඔය රචනා ටික දාගත්ත. ඒක විභාගෙට කලින්ද නැත්නම් විභාගේ යන අතරද කළේ කියල හරියටම මතක නෑ. ඔන්න දැන් මම කොපි කරන්න තමයි ලෑස්ති. ඊට කලින් මන් ගැන තව දෙයක් කියන්න ඕන. මන් තමා හැමදාම පන්තියේ පළවෙනිය වෙන්නේ. සාමාන්‍යයෙන් මම ඉස්කෝලේ  හිටිය හොඳම, කැපී පෙනෙන සහ විනී ළමයෙක්. ඉතින් ගුරුවරු හැමෝමත්  මට ආදරෙයි.  

ඔන්න ඉතින් විභාගේ පටන් ගත්ත, ප්‍රශ්න පත්තරේ දැක්කම මල් හතයි. මන් ළඟ  තියන එක රචනාවක් ඒකෙ මාතෘකාවකට හොඳට ගැලපෙනවා. ඒකෙ තිබ්බේ මගේ රට සම්බන්ධව මාතෘකාවක්. ඉතින් මම අර කොපි කරන්න දාගත්ත   රචනාවෙන් දැන් කොපි  කරා වාක්‍ය කීපයක්. අතරේ මට මාර බයයි , අහුවුනොත් මගේ කාඩ් කුඩු නේ. හැබැයි ඉතින් මාව එදා කාටවත් අහු උනේ නෑ. කවුරුත් හිතන්නේ  වත් නැනේ මම වගේ ළමයෙක් කොපි  කරයි කියල.

ඊට  පස්සේ අපේ report card හම්බ උනා. හ්ම්ම්... මට ලකුණු 92 ක් සිංහල වලට තිබ්බ! හැමදාම වගේ එදත් මන් පන්තියේ පළවෙනිය :).

අපේ ඉස්කෝලේ වාරයක් ඉවර උනාම නිවාඩු දෙන්න කලින් දවසේ ගුරුවරුන්ට වඳින සිරිතක් තිබුන. ඉතින්  වාරෙත්  අන්තිම දවසේ මං staff room එකට ගිහින් ගුරුවරුන්ට වඳින ගමන් අපේ සිංහල  ටීචර් ටත් වැන්ඳ. එතකොට ටීචර් කිව්වා "බොහොම හොඳයි මේ පාර  විභාගෙටත් හොඳට ලියල තිබ්බ" කියල. ඉතින් මම සද්ද නැතිව staff room එකෙන් එලියට ආව. ( ටීචර් දන්නේ නැනේ මගේ හැටි මමනේ ඒක  දන්නේ ! ). හැබැයි ඉතින්  ඊට  පස්සේ නම් මන් ආය කවදාවත් කොපි  කරේ නම්  නෑ.
දැන්  ඉතින් ළමයි කොහොමද  මට හොරෙන් කොපි කරන්නේ. මොකද මටත් ඕකේ පල පුරුද්ද එක දවසකට හරි  තියනවනේ !!!