Monday, January 17, 2011

අන්තිම මොහොතේ වැඩ

ඕනෑම දෙයක් හොඳට සැලසුම් කරලා කල් ඇතුව කරන එක හොඳ දෙයක් ලුනේ. එත් ඉතින්  මගේ  නම් ගොඩක් වැඩ තියෙන්නේ අන්තිම මොහොතේ තමයි. උදෙන්ම නැගිටින්න ගියත් නැගිටින්නේ අන්තිම මොහොතේ. උදේ 5.45 ට නැගිටින්න ඕන නම් එලාම් එක 5.15 ලට තියල 6 ට ඇහැරෙනවා. කැම්පස් එකේ assignment කරන්නෙත් දෙන්න ඕන දවසට කලින් ද රැයි. කලබලේට ලියල දෙන assignment එක අපේ සර් කොහොම කියව ගන්නවද කියල දෙය්යෝ තමා දන්නේ. එහෙම ලියපු එකකට මට ලඟදි 20 න් 15 ක් ම ලකුණු දීල තිබ්බ. හි හි  පුදුමයි ඒත් ඇත්තයි. assignment විතරක් නෙමේ . විභාගයකට පාඩම් කරන්න තියනවනම් අන්තිම දවසේ එලි වෙනකම් ඇහැරලා ඉඳල පාඩම් කරනවා සිලබස් කවර කර ගන්න. අනිත් ළමයි මාස ගානක් තියල පාඩම් කරලා අන්තිම දවසේ ෂොට් නෝට්ස් කියවනකොට මම අන්තිම දවසේ ෂෝර්ට් නෝට්ස් ගගහ පාඩම් කරනවා. අද ටීච කෙනෙක් නම් වෙනස් කතාවක් කිව්වා. ඔය ගොඩක් ප්ලැන් කරලා කලින්ම ලෑස්ති වෙනවා උගන්නන්න අන්තිමට ඇත ඇරලා දානවා කියල . අත ඇරලා දැම්ම නම් මට මතක නෑ ඒත් ඉතින්  ළමයින්ට නෝට්ස් දෙන්න මගේ වැඩේ නෝට්ස් හදන එක ෆ්‍රී වෙලාවට. මේකත් දැන් අන්තිම දවසේ කරන පුරුද්දක් ඇති වෙලා දන්නෙම නැතිව. නිවාඩු කාලයක් තිබ්බ නෝට්ස් හදන්න මතක් උනේ නෑ. මතක් උනේ ඉස්කෝලේ පටන් ගන්න හෙට කියල. හැබැයි මේ අන්තිම මොහොතේ වැඩ ඇඟට ගුණ නැති උනාට මට අල්ලලා යන්නෙත් ඒකම තමයි. මම O /L පන්තියේ ඉන්නකොට  එක විභාගයකදී ප්‍රශ්න පත්‍රය පටලාගෙන එක ගානක් වෙනම එකක් කියල ගණන් ටීචර් ගෙන් අන්තිම මොහොතේ  දැනගත්ත . දැනගෙන විනාඩි 2 කින්  3 කින් විතර ඒ ගාන අන්තිමට හැදුව. අන්තිමට පේපර් එකේ ලකුණු බලනකොට කලබලේට අන්තිමට හදපු ගානට විතරක් සම්පුර්ණ ලකුණු තිබ්බ. අපේ ගණන් ටීචර් මට කිව්වා " ඔයාට හරි යන්නෙම කලබලේට අන්තිම මොහොතේ කරන වැඩ තමා " කියල. එත් සමහර වෙලාවට අන්තිම මොහොතේ වැඩ අනා ගන්න වෙලාවලුත්  තියනවා. දවසක් වර්ක්ෂොප් එකක් කරන්න ගියවෙලාවෙ පහන පත්තු කරන එකට ඕන "ඉටිපෙට්ටියයි  ගිනිපන්දමයි" කෝ කියල හොයන්න පටන් ගත්ත වචනත් පටලවාගෙන . වෙන කව්රු හරි ඒක ලෑස්ති කරලද කොහොද තිබ්බ නිසා හොඳට ගියා. සමහර දවස් වලට පරණ ඔෆිස් එකේ වැඩත් අන්තිම මොහොතේ කරන්න ගිහින් ඔක්කොම වැඩ නා ගන්න වෙලාවලුත්  තියනවා. අන්තිම මොහොතේ පටන් අරන් රැ හත අට වෙනකම් වැඩ කරපු වෙලාවලුත් තියනවා. මගේ ඔෆිස් එකේ වැඩකරන සමහර අයට ඉතින්  මේ නිසා මගෙත් එක්ක තරහ යන වෙලාවලුත් තියනවා. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට  ඒ අයවත්  අල්ලාගෙන මන් අන්තිම මොහොතේ වැඩේ කොහොම හරි ඉවර කර ගන්නවා.
හැබැයි ඉතින් මේ අන්තිම මොහොතේ වැඩ කරන එක නම් නරක පුරුද්දක් , මේක නැති කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

Thursday, January 13, 2011

අලුත් පන්තිය

බ්ලොග් එකක් පටන් ගත්තට මොකද ඒකට අලුත් පෝස්ට් දාන එක තමා දැන් තියන ගැටලුව. මගේ යාලුවෙක් නම් මේකට කිව්වේ රයිටර්ස් බ්ලොක් කියල ( හි.. හි..  මම මොන රයිටර් ද .. නිකමට බ්ලොග් එකක් පටන් ගත්ත මොනවා හරි ලිය ගන්න පුළුවන් වෙයිද  බලන්න) මේක ලියන්න දෙයක් නැතිකමද ලියල පුරුද්දක් නැති කමද දන්නේ නැ. මොකක් උනත් අද නම් මොනවා හරි ලියනවා කියල හිතාගෙන  තමා වැඩේට බැස්සේ


ඉස්කෝලේ  පටන්ගත්ත නිසා අයෙත් පුරුදු ජිවන රටාවට අවතීර්ණ උන. ( පුරුදු ජිවන රටාව කිව්වට ඉතින්  මේ මෑතක ඉඳල  තමා මේ ජිවන රටාව පටන් ගත්තේ. ) මම  හා හා පුරා කියල පන්ති බාර ටීචර් කෙනෙකුත් උනා අද . ඉතින්  ඉසිස්සෙල්ලම    උදෙන්ම පන්තියට ගියා. පන්තියේ ළමයින්ගේ නම්  ලකුණු කරලා පන්තිය අතුගාන්න පවරලා එහෙම පන්තිය හදා හදාගත්ත. ඊට පස්සේ පන්ති පිරිසුදු කිරීමට ළමයි බෙදල වෙන් කරා.  පන්තියට මොනිටර් කෙනෙකුත් පත් කර ගත්ත. මේ හෝල් එකේ පන්ති 4 ක් තිබ්බට තව පන්ති දෙකකට ටීචර්ලා   ඇවිත් නැ. මේ දේවල් කරන ගමන් ඒ පන්ති වල ළමයිනුත් හසුරුවගන්න සිද්ධ උන.
මම ඉතින් උගන්නට අසා උනාට ටීචර් කෙනෙක් වෙන්න නම් හිතලා තිබුනේ නෑ , ටීචර් කෙනෙක් වෙන්න ඒ තරම් ආසාවක් තිබ්බෙත් නැ. මන් හැම වෙලේම කියපු දෙයක් තමයි " මන් උගන්නන ආසයි එත් ටීචර් කෙනෙක් නම් වෙන්න ආස නැ" කියල  එත් මට හම්බ උන අලුත් පන්තියේ ළමයි කියන කරන දේ දැක්කම මට ළමයි ගැන සියුම් ආසාවක් ඇති උන . මට හම්බ උනේ 7 පන්තිය. පන්ති හදා ගන්න අතරේ එහා පන්තියේ ළමයෙක් මන්  ලඟට  ඇවිත් ඇහුව "මමත් මේ පන්තියට එන්නද "  කියල " ඇයි ඔයාගේ යාළුවා මේ පන්තියේද ඉන්නේ" " ඔව්". මේ පාර පන්ති වලට බෙදල තිබ්බේ ළමයින් ගේ ලකුණු අනුව. ඉතින් ගියපාර එකට හිටපු යාලුවෝ මේ පාර පන්ති දෙකකට වැටිලා  . ඊට  පස්සේ ඒ ළමය මගේ පන්තියේ එයාගේ යාළුවා ලඟට ගිහිල්ල ටික වෙලාවක් වාඩි  වෙලා ඉන්නවා මන් දැක්ක. අද උගන්නන්න  බැ පන්ති  හදා ගන්න තියන නිසා , තාම ළමයින්ට ඉස්කෝලෙන්  කාලසටහන් දීල තිබ්බෙත් නැ ඉතින්  ළමයිනුත් පොත් ගෙනත් තිබ්බේ නැ,   ළමය්නුත් ඇවිල්ල හිටියේ ටික දෙනයි. ළමයින්ට මගෙන් අහන්න ප්‍රශ්න ගොඩයි " මැඩම් ගේ නම මොකක්ද " " මම ...." "මැඩම්  ද අපිට සිංහල උගන්නනේ " " නැ සිංහල වලට වෙන මැඩම්  කෙනෙක් එයි " " මැඩම්  අපිට මොනවා ද කරන්නේ " "........" "මැඩම්  හැමදා ම  උදේම අපේ පන්තියට එනවා ද ? " "ඔව්" මේ වගේ ප්‍රශ්න වලට මන් උත්තර දුන්නේ අසාවෙන්" හරිම දඟ කාර ළමයි ටිකක්... නටන ඇස්..  " මට හිතුන. මේ අතරේ තව ටීචර් කෙනෙක් එහා පන්තියට ආව, ඒකෙ ළමයිනුත් අතුගාන වැඩ .. " මේ ළමයි ගේ මුණු දැක්කම මට ලමයි ගැන කියන්න පුළුවන්, හරිම ලෝකොත්ත්රයෝ  ටිකක් .. ඔයා සැරට ඉන්න "  වේවැලකුත්  අතේ තියාගෙන හිටපු  ඒ ටීචර් මට උපදෙස් දුන්න. වේවැලක් අරගෙන පන්තියට යන එක මේ
ස්කොලේ අනිවාර්ය දෙයක් වෙලා ..  මම පන්තියෙන් යන්න කලින් ළමයි මගෙන් ඇහුව " මැඩම් සෙල්ලම් කරන්න යන්නද ",  " එපා එපා පන්ති වලම ඉන්න  කියල තියෙන්නේ " එත් දැන්ම උගන්නන්න  පටන් ගන්නේ නැත්තන් මේ ළමයි මෙහෙම ගාල්  කරලා තියන්නේ  කොහොමද කියල මට හිතුන , ඒ නිසා හිත  කිවේ "එහෙනම් සෙල්ලම් කරන්න" කියන්න කියලයි  ඊට  පස්සේ ළමයි මට ආයෙත් ඇවිටිලි කරා "අනේ මැඩම් අනිත් පන්තිවල ඔක්කොම ළමයි සෙල්ලම කරනවා අපිත් යන්නම්" ළමයින්ගේ ඇස්  වල දඟ  කාරකම් නලියනවා .. මාව වට කරගෙන හේතු දාහක් ඉදිරිපත් කරනවා... සෙල්ලමට මයි හිත.. .ඊට පස්සේ මන් අන්තිමට අවසර දුන්න සෙල්ලම කරන්න .. "හැබැයි කවුරුත් ගෙවල් වලට යන්න බැ ... මන් පන්තියට ඇවිත් බලනවා "  ඉස්කෝලේ මේ සතියෙම උගන්නන පාටක් නැති පාටයි කාල සටහන් දෙන්නත් සුදානම් නැති  පාටයි ..  "කාල සටහන් නැති උනාට මම හෙට උගන්නන්න පටන් ගන්නවා හැමෝම හෙට  පොත් ගෙන්න ඕන" කියල මම පන්තියෙන් පිටත් උනා. හවස අයෙත් පන්තියට ඇවිත් බලන කොට පන්තියේ දෙන්නෙක් ම හොරෙන් ඉස්කෝලෙන්  පැනල ගිහින් තිබ්බ.

Sunday, January 2, 2011

නෑ කතා

අපි හැමෝටම විවිධාකාරයේ නෑයෝ ඉන්නවනේ , හොඳ නෑයෝ එපා වෙන නෑයෝ, දුප්පත් නෑයෝ, පොහොසත් නෑයෝ, දුර නෑයෝ, ළඟ නෑයෝ, කුහක නෑයෝ, හිතවත් නෑයෝ මේ විදිහට විවධ ආකාරයට වර්ග කරන්න පුළුවන්. අද යාලුවෙක් එක්ක චැට් කරන ගමන් නෑයෝ ගැන කතා උනා ඒ නිසයි  මේ පොස්ට් එක දාන්න හිතුනේ.


මගේ මේ යාලුවට දවසක් හදිසියේම නෑයෙක් ස්තුති කරාලු, ස්තුති කිරීමට හේතුව තමයි මේ යාළුවා නිසා ඒ නෑයට  ග්‍රීන් කාඩ් එකක් ඇදිම  . ඉතින්  මේ කතාව  මොකක්ද කියල  තේරුම් ගන්න බැරිව විස්තර  අහන කොටලු තේරුනේ මොකක්ද වෙලා තියෙන්නේ කියල. මගේ මේ යාළුවා බ්ලොග් ලියන කෙනෙක් ඉතින්  මේ බ්ලොග් එකේ ඇඩ් එහෙමත් තියනව.  මේ නැයා    මේ බ්ලොග් එක නිතර බලනවාලු. දවසක් එයා  ඒ බ්ලොග් එකේ තියන ඇඩ් එකක් ක්ලික් කරලා එයාට  ග්‍රීන් කාඩ් එකක් ඇදීලලු , ඉතින්  ඒ නෑය හිතල තියෙන්නේ මේ යාළුවා නිසා තමයි  ඒක හම්බ උනේ කියල.(යාළුවා දාපු එකක් තමයි කියල හිතල) එහෙම හිතලයි මෙයා යාලුවට ස්තුති කරලා තියෙන්නේ. ( මට නම් ටිකක් හිත ගන්න බෑ ග්‍රීන් කාඩ් එකක් කොහොමද ඇඩ් එකකින් ඇදුනේ කියල මන් දන්න තරමින් ඒකට ඔෆිෂල් වෙබ් එකක් තියනවා ). ඉතින්  මෙහෙම හොඳ දෙයක් වුන  එක නම් හොඳයි,  එත් මේ ඇඩ්, බ්ලොග් අයිති කෙනා දාන ඒවා නෙමෙයි නේ සමහර වෙලාවට ඔය නිළියන්ගේ එක එක ජාතයේ පින්තුර තියනවා කියලත් සමහර ඇඩ් වල යනවා . ඉතින්  ඒවගේ  එකක් එහෙම අර නෑය ( හරි ,මේ ඇඩ්   බ්ලොග් එක අයිති එක්කෙනා දාන දෙයක් නෙමේ කියල දන්නේ නැති කෙනෙක් හරි) ක්ලික් කරා නම් ඒකත් ඉතින්  බ්ලොග් එක අයිති  කෙනාගේ වැඩක් කියල තමයි හිතන්නේ.


මේ කතාව ලියන කොට මට මම සහ මගේ නෑයෙක් ගේ කතාවකුත් මතක් උනා. හැබැයි කලින් කියපු  කතාවට වඩා වෙනස් සිද්ධියක් මේක. මට දවසක් දුර පළාතකට ජොබ් එකක් හම්බ උනා. මම මේ පළාතට මිට කලින් ගිහිල්ලත් නෑ . ගෙදර ඉඳල කෝච්චියේ ගියොත් පැය 6 ක් විතර යනවා යන්නත්. දැන් මට බෝඩිමක් හොයා ගන්න ඕන. සාමාන්යෙන් මගේ ජොබ් සම්භන්ධ වැඩ මම  තනියම කරගන්නේ, ගෙදරට කරදර කරන්නේ නෑ . ඉතින් මේ බෝඩිම හොයාගන්න වැඩෙත් මම යාලුවෙක් හරහා කරා. මගේ යාලුවෙකුට  ( අඳුනන ගොඩක් හිතවත් අයිය කෙනෙකුට ) කිව්වා මට *** පළාතේ  අලුත් ජොබ් එකක් හම්බ උනා එහෙන්  ටික දවසකට හරි බෝඩිමක් හොයල දෙන්න පුළුවන් ද කියල. ඊට  පස්සේ මෙයාගේ යාලුවෙකුගේ ත් යාලුවෙක් ගේ ගෙදර නවතින්න පුළුවන් කියල කිව්වා. මගේ මේ යාළුවා හොඳ විශ්වාසවන්ත කෙනෙක් නිසා එය හොයලදෙන්නේ ගැණු ළමයෙකුට නවතින්න පුළුවන් විදිහේ තැනක් කියලත් මට විස්වාසයි. ඉතින් මගේ යාළුවාට එයා ගේ යාළුවව හොඳටම විශ්වාස යි , ඒ යාලුවට එයාගේ යාලුවවත්  හොඳටම  විශ්වාසයි. ඔහොම තම ඔය බෝඩිම හොයා ගත්තේ. ඒ බෝඩිමේ ඒ දවස් වල හිටියේ ආන්ට්යි අන්කලුයි පුතයි ( යාළුවගේ යාළුවගේ යාළුවා ) විතරයි . එතින් ඊට පස්සේ මම තනියම *** කෝච්චියේ නැගල ගියා ඒ පළාතට. මම ගියාම  අර ගෙදර මල්ලි  ( තුන් වැනි යාළුවා)ස්ටේෂන් එකේ මන් එනකන් හිටිය . මිට කලින් දැකලත් නෑ එත් අපි දෙන්න ඒ වෙලාවේ අඳුනගෙන දැන් ඒ අලුත් බෝඩිමට ගියා. ඉතින්  මේ තැන හොයා ගත්තේ  කාලිකව හින්ද මට මතක විදිහට සති 2 ක් විතර එහෙ හිටිය. ඒ ගෙදර හැමෝම හොඳින් මාව බල ගත්ත හරිම හොඳ මිනිස්සු. මගෙන් සල්ලි වත් ගත්තේ නෑ.   කෑම හදන්න ගියාම මම කන්න කැමති විදිහ අහනවා .. මල්ලි ඇන්ටිට කියන මිරිස්  අඩුවෙන් දාන්න අක්ක සැරට කනවද දන්නෙත් නෑ .. මට අලුත් ඔෆිස් එකට යන්න පුරුදු නැති නිසා මාව ඔෆිස් එකට ගිහින් දානවා ..ඔයවගේ හරිම සැලකිලි. ඉතින් ඒ ගොල්ලෝ කැමැත්තෙන් හිටිය මන් එහෙ දිගටම ඉන්නවනම්  . ඔහොම ඉන්න  දවසක අපේ නෑ කෙනෙකුත් ඒ පළාතට  එනවා කියල ආරංචි උනා  . ඒ පළාත එයාලගේ ගම. මේ නෑය අපේ ලොකු නැන්ද ගේ දුව බැඳලා ඉන්න අයිය. ඉතින්  මේ ගොල්ලන්ගේ පවුලම එදා කෝච්චියේ එන නිසා මටත් කිව්වා එහෙ ස්ටේෂන් එකට එන්න කියල. ඊට පස්සේ මම නැවතිලා හිටපු ගෙදර කට්ටියත් එක්ක මගේ නෑයෝ ටික හම්බවෙන්න ස්ටේෂන් එකට ගියා. එහෙදි මගේ නැයෝයි  අර ගෙදර කට්ටියයි අඳුන ගත්ත. පස්සේ මන් අලුත් බෝඩිමක් එහෙම හොයාගෙන ඒ ගෙද්‍රරින් සමු ගත්ත. ඔහොම ඉන්න දවසක අර නෑය (අයිය) අපේ තාත්තිට කියල තිබ්බ අර ගෙදර කට්ටියගේ නෑයෝ හරියට දොස් කියල තිබ්බ තනියම ඒ පළාතට ගිහින් අඳුනන්නේ වත් නැතිව ගෙදරක නැවතුන එකට කියල .. හරි ගැණු ළමයෙක් ඔය වගේ වැඩක් කරනවද .. මේ වගේ කතා ඒ නෑය කියල තිබ්බ ඉතින් මට ඔය කතාව ඇහුවම හොඳටම තරහ ගිය. මට හිතුනේ මෙහෙම ..ඒ ගොල්ලන්ට මට බෝඩිමක් හොයල දෙන්න කිව්වා වෙලාවේ ( එදා ස්ටේෂන් එකේදී හමු වුන වෙලාවේ ) ඒක කරලා දෙන්න බැරි උනා ඒ ගොල්ලන්ගේ ගම වෙලත්. එත් මන් තනියම එහෙ ගිය එකෙයි ඒ ගෙදර නැවතුන එකෙයි වැරදි විතරක් අපේ තාත්තිට  ගිහින් කියල...  .  ඔය හිතපු දේ නෑයෝ වෙන අක්ක කෙනෙකුට මන් කිව්වා ඒක අර අයියට  ( කලින් කියපු  නෑය ට  ) ආරංචි වෙලා දැන් මගෙත් එක්ක කතා කරන්නේ නෑ ඊට පස්සේ. මාත් ඉතින්  එයාට වැඩිය කැමති නැති නිසා එකත් හොඳයි කියල හිතා ගත්ත. 

Monday, December 13, 2010

සපත්තු කට්ටක් නිසා කාපු කට්ටක්

 මේ දවස් වල තියන වැස්සට සපත්තු ගැලවීමේ සම්භාවිතාව  වැඩියි . මට හරියට ඔය පාවහන් ගැලවීමේ අවස්ථා වලට මුහුණ දෙන්න සිදුවෙලා තියනවා. පාරකදී උනාම නම් මම ඉතින්  කරන්නේ ත්‍රී වීල්  එකක් නවත්තගෙන යන්න ගිය ගමන නවත්තල අපහු ගෙදර යන එකයි. ඒත් එතින් ත්‍රී විල් එකකින් යන්න බැරි දුරක නම් ඉන්නේ මාර  වැඩේ තමා වෙන්නේ. 


මේ ලඟදි දවසකදිත් මට ඔය පාවහන් කැඩුන වැඩේට මුණ දෙන්න සිද්ද වුන. කැම්පස් ගිය වෙලාවක තමයි ඕක උනේ . දැන් එතින් මොනවා කරන්නද කැඩිලා තියන විදිහට කට්ටක් වත් ගහගෙන ශේප් කර ගන්න විදියකුත් නෑ . ත්‍රී විඉල් එකකින්  ආපහු ගෙදර යන්න හිතුනත් ලොකු ගානක් දෙන්න වෙන නිසා දෙපාරක් හිතුවා. හම්බෙන සොච්චම් පඩිය පරිස්සමින් පාවිච්චි කරන්න එපාය. ඒ වෙනකොට එක ලෙක්චර් එකක් ඉවර  වෙලා , තව ලෙක්චර් එකක් තියෙන්න  තියනව , එක නිසා ස්ලිපර් දෙක මල්ලකට දා  ගෙන පයින්ම ඊළඟ ලෙක්චර් එකට ගියා. ලෙක්චර් එක ඉවර  වෙලා දැන් ගෙදර යන්නේ කොහොමද කියල ටිකක් වෙලා කල්පනා කරා. කරන්න දෙයක් නෑ  දැන් සපත්තු හදාගන්න විදියක් නෑ  පයින්ම ගෙදර යන්න තීරණය කලා (සපත්තු නැතිව ). කැම්පස්   එකේ එකපැත්තක ඉඳල  දැන් අනිත් පැත්තට පයින්    ඇවිදගෙනයනවා  . මගදී හම්බවෙන අය මගේ කකුල දිහා බලල අයෙත් මූන  දිහා බලනවා වගේ මට පේනවා. මම හිතා මතාම ඒ මිනිස්සුන්ගේ මුණ මග අරිනවා . ඒ යනකොට තමා පාවහන් දෙකක වටිනාකම හොඳටම තේරුනේ. මඩ ගොඩවල් උඩින් යනකොට මඩ චිරි  චරි ගාල කකුලේ ඇඟිලි අස්සෙන් එනවා. දැන් කකුලේ මඩ ගොඩයි. ඊට  පස්සේ තාර දාපු පාරේ ගල් කැට ඇනිල මාව උඩ යනවා; ඊළඟට   තණකොළ ගොඩේ යන කොට කුඩල්ලෝ   එල්ලෙයි   කියල බයයි . මෙහෙම ගිරිදුර්ග වනදුර්ග ඔක්කොම පහුකරලා ප්‍රධාන පාරට යන්තන් අව. දැන් බස්  හෝල්ට් එකට යන්න ටිකක් මොකක්ද වගේ කකුලේ සෙරෙප්පු දෙකක් වත් නැනේ. ටිකක් වෙලා ඉන්නකොට  බස්  එකක් ආව. යන්තන් සීට් එකකුත් හම්බ උනා නැත්නම් මිනිස්සුන්ට කකුල පෑගිලා තවත් රැග් එකක් කන්න වෙනවා. ඊට  පස්සේ බහින හෝල්ට් එකෙන් බැහැල ගෙදර පැත්තට ඇවිදගෙන ගියා. ගෙදර ගියාට පස්සේ නම් ඉතින්  සපත්තු නැතිව බස්  එකේ එන එකත් සිම්පල් නේ කියල හිතුන.

ඊට පස්සේ දවසේ ඉස්කෝලේ යන දවසේ වෙන සපත්තු  දෙකක් දා  ගෙන ගියේ. ඉස්කෝලේ ලගට යනකොට දැක්කේ ඒකත් කැඩෙන්න ඇවිත් කියල. දැන් ඉතින්  මොකද කරන්නේ.. ඉස්කෝලෙට ගිහින් ඇන4  ක් ගහ ගත්ත . යන්තන් වැඩේ ශේප්. කැම්පස් එකේදී වගේ නෙමෙයි නේ ඉස්කෝලේ ඉඳල  පයින් යන්න උනානම් ඉස්කෝලේ ළමයින්ට හොඳ මාතෘකාවක් සපයනවා. කොහොමහරි එදා හවස ගෙදර ආව අර ඇන 4 උදව්වෙන් . ගේ ලඟට  එනකොට දැක්කේ ඒකත් ගැලවෙන්න ඇවිත් කියල. එත් ගැලවුනේ  නෑ  ගෙදර යනකම්. ඊට පස්සේ එදා ම  හවසම ලෑස්තිවෙලා අලුත් සපත්තු ගන්න ගියා. මිට  පස්සේ නම් වැඩි පුර සපත්තු දෙකක් බෑග් එකේ තියා  ගන්න එක ඇඟට ගුණයි කියල මට හිතුන.  

Tuesday, December 7, 2010

ඔයාගේ කරදරේ ...

 අද හවස හෝ ගාල වැස්ස.. ඉස්කෝලේ ඇරිලා එන්නේ කොහොමද කියල හිතහිතා ඉඳල  යන්තන් වැස්ස ටිකක් අඩු වෙන කොට එලියට පැන ගත්ත. ඔයත් එක්ක මේ වැස්සේ යන්න කොච්චර අමාරුද. ඔයාව එක අතකින්  අල්ලාගෙන අනිත් අතින් කුඩේ ල්ලගෙන පරිස්සමින් හිමින්හිමින් අඩිය තිය තියා ආවේ. ඒ අතරේ ඉස්කෝලේ  ඇරුන කොල්ලෝ කුරුට්ටොන්ට නම් මාර ජොලි, වැස්සට හොඳටම  තෙමිලා අර පාරේ තියන වතුර ගොඩේ තක තක ගාල ඇවිදිනවා.. දුවනවා.. , මාව නම් තෙමුනත් කමක් නෑ ඔයාව මේ ජරා වතුරෙන් බේරගන්න විදියක් නැහැ මේ කොල්ලෝ නිසා, කොල්ලෝ එහෙමෙහෙ දුවන පාරට පාරේ තියන ජරා වතුර ඔක්කොම ඔයාගෙයි මගෙයි   ඇඟට විසි වෙනවා.

යන්තන් ඔයාවත්   අල්ලාගෙන බස් හෝල්ට් එකට අවා. ඔයාව මෙහෙම අල්ලාගෙන ඉන්න විදිහ හරි නැද්ද  මන්ද .. මිනිස්සුත් බල බල යනවා.  එත් ඉතින්   මොනවා කරන්නද වැස්ස වෙලාවට විතරනේ මෙහෙම යන්නේ . කොහොමත් ඔයත් එක්ක මේ ගත කරන ජිවිතේ නම් මට එපා වෙලා. ආය ඉතින්  උදේට කියලත් ඔයාගෙන් ගැලවිල්ලක් නැනේ ඔයා නිසා උදේට කොච්චර නම් වෙලා යනවද දවස් කීයක් නම් මට ඔය නිසා රතු ඉරත් වැදිලා ඇද්ද ඔයාට නම් මොකද මේ කරදරේ ගැන ඔයාට ගානක් වත් තියන එකක් යැ . අනිත් ඒක ඔයා නිසා යන වියදම ! ඔයාගේ වියදම මට දරන්න පුලුවන්ද..
දවසින් දවසට කියක් නම් මාරු කරන්න ඕනද  , ඒකට ඉතින්  අලුත් ඒවා  ගන්න කඩවල් ගානේ බඩ ගාල  බඩ ගාල    .. කීයක් කියල තෝරන්නද,  තෝරලා තෝරල යන්තන් එකක් තෝරා ගන්නව. ඒ විතරක් ද  එතිනින් ඔය තේරිල්ල ඉවර කරන්නත් බැනේ මැච්  කරලා හරියන  හැට්ට  මහන්නත්  ඕන නේ . උදේට  අඳින්න ගියත් තියන කරදරේ. පොට හදන්න රැලි තියන්න වැඩ කීයක්ද ..කොයි  තරම් වෙලාවක් යනවා ද   පටල ගන්න. ඊට පස්සේ බස්  එකකට හදිසියේ නැග ගන්න පුලුවන්ද පැටලිලා වැටෙන්න යනවා.. ඒත්  ඒ  වගේද    ඩෙනිම් කලිසමයි  ටි  ෂර්ට් එකයි. කොයි  තරම් පහසුද අව්වට වැස්ස කෝකටත් ඔට්ටුයි . අඳින්නත් විනාඩියයි  දෙකයි. අනේ ඇත්තට ම  ටිචර්ලටත් ඔය සාරිය නැතිව ඩෙනිම් කලිසමකුයි   ටි ෂර්ට් එකකුයි  ඇඳගෙන ඉස්කෝලේ යන්න දෙනවා නම් කොච්චර හොඳද !!!

Wednesday, December 1, 2010

අද ලෝක ඒඩ්ස් දිනය

අද දෙසැම්බර් 01, ඒ කියන්නේ ලෝක ඒඩ්ස්  දිනය.  ඒඩ්ස් වලින් හානි වෙන්නේ මනුස්සයෙකුගේ ප්‍රතිශක්තිකරන පද්ධතියටයි. ඒඩ්ස් සුව කල නොහැකි මාරාන්තික රෝගයක් බව කවුරුත් දන්නා දෙයක්. ඒඩ්ස් වැළදීමට නම්  එච් අයි වී වෛරසය කෙනෙකුගේ   සිරුරට ඇතුළු වෙන්න ඕන.  එච් අයි වී වැළදුණු හැම කෙනෙකුටම ඒඩ්ස් නෑ. එත් එච් අයි වී වලට ප්‍රතිකාර නොගත්තොත් නම් ඒඩ්ස් වැළඳීම ඉක්මන්  වෙනවා. ඉතින්  එච් අයි වී වලට බෙහෙත් කරන එකෙන් කරන්න පුළුවන් ඒඩ්ස් හැදෙන් කාලය තරමක් හරි පරක්කු කරන එක විතරයි.   

මුලදී ඒ කියන්නේ ඒඩ්ස් ගැන ඉගෙන  ගන්න කලින්  නම්  ඒඩ්ස්  හෝ එච්  අයි  වී වැළඳුන අය ගැන කිසිම අනුකම්පාවක් දක්වන්න හොඳ නෑ කියන අදහසේ තමා මන් හිටියේ, එත් ඒඩ්ස් /එච්  අයි  වී ගැන ඉගෙන  ගන්න ලැබුනට පස්සේ ඒ අදහස වෙනස් වෙලා ගියා.
ගොඩක් වෙලාවට  තුන්වෙනි සිල් පදේ කැඩුවොත්මේ ලෙඩේ හැදෙන්න වැඩි අවදානමක් තිබෙනවා උනාට ,   ලේ දීමකදී ආසාධිත   රුධිරය ඇතුළු වීමෙන්,  එච්  අයි වී වැළඳුන අම්ම කෙනෙක් දරුවෙකු බිහි කිරීමෙදි හා  මත් ද්‍රව්‍ය පාවිච්චියේදී එන්නත් කටු පොදුවේ පාවිච්චිය නිසා වැනි හේතු නිසාත් එච්  අයි වී බෝ  වුන අවස්ථා තියනවා. මේක දැනගන්න ලැබුනේ මට දවසක් එච්  අයි වී ගැන වැඩමුළුවකට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුන නිසා. මේ වගේ අවස්ථා 2 ට විතර මම සහභාගී වෙලා තියනවා.  එච් අයි වී හා ඒඩ්ස්  අතර  වෙනස, වැළඳෙන්නේ කොහොමද,  වැළකෙන්නේ කොහොමද වගේ විස්තර  ගොඩක් ඒකෙදි දැන ගන්න ලැබුන. ඒ විතරක්  නෙමෙයි එච්  අයි වී හැදුන දෙන්නෙක් හමු වෙන්නත් අවස්ථාව ත් ලැබුන. ඒගොල්ලන්ගෙන් එක්කෙනේකු ට බෝවෙලා තිබුනේ එයාගේ ස්වාමිපුරුෂයගෙන්. අනිත්  කෙනාට බෝවුණු විදිහ ගැන කිව්වේ නෑ එත් එයාට බෝ වෙලා කියල දැනගෙන තියෙන්නේ මැද පෙරදිග රටක සේවය කරන අතරතුරෙයි. ඒගොල්ලෝ 'ලංකා ප්ලස්'  කියන ආයතනයට සම්භන්ධ වෙලා දැන් ඒ ගොල්ලන්ගේ සුබසාධන  වැඩ වල යෙදීල ඉන්නේ  .  එම  ආයතන ඒ ගොල්ලන්ගේ සුභසාධනය සඳහා සාදා ගත ආයතනයක්. තාම ත් ක්‍රියාත්මක වනවාද නම් දන්නේ නෑ.

මේ වැඩසටහන අතර ගිය එක ක්‍රියාකාරකමක් ගැන කියන්න ඕන, වැඩසටහනේදී අපට කිව්වා  තමාට ඉතාමත්  වටිනා, ජිවිතයට නැතුවම බැරි වටිනාම  දේවල් 5 කොළ කැලි 5 ක  ලියන්න කියල. ( ඔබත් මේක පුළුවන් නම් දැන් කරන්න) ඊට පස්සේ හිතන්න කිව්වා මේකෙන් එක දෙයක් මොනවා හරි හේතුවක් නිසා අත  අරින්න්න වෙනවා. ඒ නිසා අත අරින්න එකක් තෝරා ගෙන ඒක
(කොළ කෑල්ල)   අයින් කරන්න කියල. (ඒ අයින් කරපු එක එක්කෙනෙක් එකතු කර ගත්ත.) ඉතින්  බොහොම අමාරුවෙන් හිතල හිතල එකක් අයින් කරා. ඔය විදිහට දෙපාරකදී හරි තුන් පාරකදී හරි  කොළ කැලි 3 ක් ම අයින් කරන්න සිද්ධ උනා. අවසානයේදී ලොකු විනාසයක් වෙලා අතේ තියන අන්තිම කොළ කැලි දෙක ඒ කියන්නේ මන් ළඟ ඉතුරු  වෙලා තියන අනිත් දේවල් දෙකත් අත හරින්න සිද්ධවෙනවා. දැන් මේ විදිහට එකින් එක අත අරින්න වෙනකොට ඔබට ඇති වුන හැගිම්  මොනවාද කියල අපෙන් ඇහුව ... ඕක තමා ඒ ක්‍රියා කාරකම ( ඉතින්  ඔබට ඇති වුන  හැගිම් මොනවද ? ) මේක කරේ එච් අයි වී වැළඳුන කෙකුට ඇතිවන හැගිම් මොනවගේද කියල තේරුම් කරලා දෙන්නයි. 

  

ලෙඩේ..

මේ කතාවත් ඉස්කෝලේ පුංචි දවස්වල වුන පුංචි සිද්ධියක්. දවසක් අපේ පන්තියේ ටීචර් කිව්වා අපිට මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමාට ලියුමක් ලියන්න කියල . ලියුම ලියන්න කිව්වේ අපේ පළාතේ බෝවෙන රෝගයක් ගැන දැනුම් දීමට. ඉතින් ලියුම් ලියන විදිහක් තියනවනේ... , යවන ලිපිනය ලියල , දිනේ එහෙම දාල මාත් ලියුම පටන්ගත්ත . දැන් අනිත් ළමයිනුත් ලියුම ලියනවා. ඊට පස්සේ මහා ජන සෞඛ්‍ය පරීක්ෂක තුමාගේ ලිපිනයත් ලිව්වා. ලියුමට මාතෘකවකුත් දැම්ම " අප ප්‍රදේශයේ පැතිර යන බෝවෙන රෝගය සම්බන්ධවයි කියල. දැන් පටන් ගැන්ම හරියටම හරි. ඊට පස්සේ ටිකක් වෙලා කල්පනා කරා මොකක්ද ලියුමට දාන ලෙඩේ කියල. ඉතින් ලියන එකේ අනිත් ළමයින්ට වැඩිය හොඳට ලියුම ලියන්නත් ඕනනේ. වෙලාවට මට අලුතෙන්ම අහන්න ලැබුණු ලෙඩක් මතක් උන. මාත් ඉතින් බැලුවේ අලුත් දෙයක් ලියන්න; අනිත් ළමයින්ට වඩා වෙනස් දෙයක් නම් ඉතින් මාර හොඳි නේ. මට හොඳටම සතුටුයි ලෙඩේ නම ගැනත්. නමේ ටිකක් modern ගතියකුත් තිබුන නිසා. ඊට පස්සේ මම ලියුම ලියල ඉවර කරා. මට මාර සතුටුයි අනිත් අයට කලින් වඩා හොඳ එකක් ලියන්න පුළුවන් උනානේ. ඊට පස්සේ ටීචර් ලඟට ගියා පොත පෙන්නන්න. ටීචර් ලියුම කියවගෙන ගියා. ලියුමේ තිබුන "අප ප්‍රදේශයේ ඒඩ්ස් රෝගය භයානක ලෙස පැතිර යන නිසා ඒ පිලිබඳව දැනුම් දී ම සඳහා මේ ලිපිය ලියමි ... " කියල. අපේ ටීචර් ඒක කියවල අර දාල තිබ්බ ලෙඩේ නම වෙනුවට " කබල් " ලෙඩක නමක් දාල ලියුම වෙනස් කළා. ඉතින් ඒ වැඩේට මගේ හිතට එච්චර හරි නෑ . අර තරම් කල්පනා කරලා ලියපු ලියුමනේ.